මෙත්තානිසංස සුත්තං

ශ්‍රවණය කිරීම සඳහා

01. ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත‍්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති, භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං' භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි යි කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළ සේක. පින්වතුන් වහන්සැ යි කියා ඒ භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළ සේක.

02. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානිකතාය වත්ථු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පාටිකංඛා, කතමේ ඒකාදස?

පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ ප‍්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත‍්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය. ඒ අනුසස් එකොළහ නම් කුමක් ද?

03. i. සුඛං සුපති, ii. සුඛං පටිබුජ්ඣති, iii. න පාපකං සුපිනං පස්සති, iv. මනුස්සානං පියෝ හෝති, v. අමනුස්සානං පියෝ හෝති, vi. දේවතා රක්ඛන්ති, vii. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, viii. තුවටං චිත්තං සමාධියති, ix. මුඛවණ්ණෝ විපස්සීදති, x. අසම්මූළ්හෝ කාලං කරෝති, xi. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ‍්‍රහ්මලෝකූපගෝ හෝති.

i. සැප සේ නිදන්නේ ය, ii. සැප සේ අවදි වන්නේ ය, iii. පව් සිහින නො දකින්නේ ය, iv. මිනිසුන් හට ප‍්‍රිය මනාප වන්නේ ය, v. අමනුෂ්‍යයින් හට ද ප‍්‍රිය මනාප වන්නේ ය, vi. දෙවියන් ගේ රැකවරණ ලැබෙන්නේ ය, vii. ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ ඔහු හට අනතුරු නො වන්නේ ය, viii. ඔහු ගේ සිත ද වහා සමාධිගත වන්නේ ය, ix. මුහුණේ පෙනුම ද ඉතා පැහැපත් වන්නේ ය, x. සිහි මුළා නො වී කලූරිය කරන්නේ ය, xi. ඉහළ මාර්ග-ඵල අවබෝධයක් ලබා ගත නො හැකි වූවෝතින් බඹලොවෙහි උපත ලබන්නේ ය.

04. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකතාය, යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකංඛා.

පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ ප‍්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත‍්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.

05. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතින් යුතු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතු ව පිළිගත්තාහු ය.